Wednesday, October 6, 2021

වැසි දිනකදී ඔබේ ගෙවත්ත

This is an article published in Vidusara Science Weekly on 06.10.2021. The article focuses on some of the changes that can be expected to observe in your home gardens. 

කාලගුණ යේ වෙනසක් නිසා පසු ගිය සති කිහිපයේ ලංකාවේ බොහෝ පළාත් වලට තද වැසි වැටුනේය. වැස්සේ සිතලයට ගුලි වී නිදන්නට ඇත්නම් අපි බොහෝ දෙනා කැමති වුවත්, වැස්ස වසින විට හා ඉන් පසුව පරිසරයේ සහ ගෙවත්ත ආශ්‍රිත ජිවින්ගේ සමහර සුවිශේෂී චර්යා නිරීක්ෂණය කිරීමට අපට හැකිවේ.

දිගු වියළි කාලයකට පසු වැටෙන පළමු වැස්ස ගෙන එන්නේ එයටම ආවේණික, ඇවිස්සුනු දුහුවිලි සමග මුසුවූ සුවදකි. එසේ දිගු වියළි කාලකට පසු වැටෙන වැස්සකට පසු පරිසරයේ ඇත්තේ අමුතුම ප්‍රබෝධයකි. එවන් වැස්සකට පසු උදෑසන, කුරුල්ලන් නැරඹීමට සුදුසුම දිනයකි.

වැස්සේ ජලස්නානය කරන කුරුල්ලෝ   

තදින් වැසි වැටෙන  දී  ඔබගේ ගෙවත්තේ කුරුල්ලන් කුමක් කරන්නේ දැයි ඔබ නිරීක්ෂණය කර තිබේද..? අප ගෙවත්ත ආශ්‍රිත ජීවීන් සමහරෙක් වැස්ස ට ප්‍රිය කරන අතර සමහරෙක් ට වැස්ස කරදරයකි. දිගට පවතින තද වැස්ස කුරුල්ලන්ට කරදරයක් වුවත්, වැස්ස පටන් ගත් අවස්තාවලදී බොහෝ කුරුල්ලන් වැස්සේ ස්නානය කරන්නට ප්රිය කරයි. හොඳින් නිරීක්ෂණය කළහොත්, තම පියාපත් විහිදමින් වැස්සේ හොඳින් නා ගන්නා කොන්ඩ කුරුල්ලෙකු, පොල්කිච්චේකු ඔබේ ගෙවත්ත අවටින් බොහෝ විට දැකගත හැකි වනු ඇත.

මීට අමතරව සුටික්කන්, බට්ටිච්චන් වැනි කුඩා කුරුල්ලන් ගේ විශේෂ ස්නාන චර්යාවක් වැස්සේ දී හෝ වැස්ස නිම වූ පසු ඔබට දැක ගත හැකි වේ. මොවුන් බොහෝ විට කරනුයේ ගස් වල පත් වල රැදුණු වැහි බිඳු ඇගේ තවරා ගෙන ඒවායින් කරන ස්නානයකි. වැස්ස නැති වුවත්, උදෑසන තද පින්නක් තිබු අවස්ථාවලදී රැදෙන ජල බිදු වලින් ස්නානය කිරීම මොවුන් ගේ විශේෂී පුරුද්දකි.

(සවස් වරුවේ ගස් වලට වතුර දමද්දී, අප ගෙවත්තේ තිබෙන කාමරංගා ගසේ උස් අතු වලට ජල පහර කිහිපයක් එල්ල කිරීම මගේ පුරුද්දකි. සවස 5 පමණ මේ ක්රියාව කරන සමහර විටෙක, මා විසින් වතුර බටයෙන් ඉහලට එල්ල කරන ජලය එසැණින් ස්නානයට අපේ ගෙවත්තේ සුටික්කෝ පුරුදු වී සිටිති.)

වැස්සෙන් මුවා වීමට වහල යටටත් එන තෙත බරිත කුරුල්ලෝ

වැසි වැටෙන්නට පටන් ගෙන සුළු වෙලාවක් ගත වෙන තෙක් සුටික්කන් වැනි කුරුල්ලන් ඒ වතුර නෑමට ඉවතට ආවත්, බොහෝ කුරුල්ලන් නොතෙමෙන  තැනක වැස්සෙන් රැකවරණය ගෙන සිටීමට කැමැත්ත දක්වයි. කුරුල්ලන් ගේ පිහාටු වල ඔවුන් ගේ ග්‍රන්තියකින් වැහෙන තෛලමය තරලයක් නිතර හෝටයෙන් ගෙන පිරිමදින නිසා, පිහාටු වලට වතුර උරා ගැනීම අඩු වුවත්, වැස්සේදී ඔවුන්ට පියාඹිම අපහසුය. කුරුල්ලන් පියඹා යන්නේ ඔවුන් ගේ තටු මගින් සිදු කරන චලනයෙන් වාතය පහළට තෙරපිමකිනි. එහෙත් වැසි වසින විට බොහෝ විට පරිසරයේ තිබෙන්නේ අඩු පීඩන තත්ත්වයක් නිසා ඔවුන්ට පියෑබිමට වැඩි ආයාසයක් ගත යුතු වේ.

ඔබගේ ගෙදර වහල යට තිබෙන ඉඩක හෝ ගසක කොළ වලින් වැසුණු එතරම් තෙමෙන්නේ නැති තැනක නිසොල්මන්ව සිටින කුරුල්ලෙකු දෙන්නෙකු තදින් වැසි වැටෙන විට දී හොදින් බැලුවොත් නිරීක්ෂණය කල හැකි වනු ඇත. එහෙත් ඔවුන් ව නිරීක්ෂණය කිරීමට යාමේදී ඔවුන් කලබල නොකිරීමට වග බලා ගන්න.

වැස්සේ ගීතමය සංධ්වනි මවන ගෙම්බෝ සහ මැඩියෝ

තදින් වැසි වැටෙන විට වඩාත් ම සතුටු වන සතුන් කොටසකි උභය ජීවින්. වෙනදාට ගල් යට, මල් පෝච්චි අස්සේ සැගවී සිටින මේ ගෙම්බෝ සහ මැඩියෝ තද වැස්සකදී එළි බහී. වතුර වලවල් සෑදෙන තරම් තද වැස්සක් පතිත වූ දාට නම් මොවුන්ට රජ මගුල්  ය. එවන් දින වල රාත්‍රිය නොයෙකුන් තනු වලට සහ තිව්‍ර තාවයෙන් යුතු හැඩින් ගීතවත් කිරීමට මේ ගෙම්බන් සහ මැඩියන් වග බලාගන්නේ මේ වතුර වල හිදී යෑමට පෙර සහකරියෙකු සොයා එහි බිත්තර දැමිය යුතු හෙයිනි. මීට දශක කිහිපයකට පෙර සෑම ප්‍රදේශයකම පාහේ මෙවන් වැසි බර රාත්රියයන් ගෙම්බන්ගේ සහ මැඩියන් ගේ හඩින් ගීතවත් වුවත්, දැන් නම් බොහෝ ප්‍රදේශවලින් ඒ 'ගෙඹි ගීතිකා' මතකයට පමණක් සිමා වී තිබේ.

මීට දශක කිහිපයකට පෙර නම්, තද වැස්සකදී ගෙවතු වල කොන් වල හෝ අසල ඇති පහත් ඉඩම් වල වැසි ජලය පිරී තිබීම සුලභ විය. දින කිහිපයකට පසු මේ ජලයේ පාවෙන ගෙම්බන් විසින් දැමූ බිත්තර සෙවෙල ලෙස දක්නට ලැබුන අතර, තවත් දින කිහිපයකින් ඒවායින් කුඩා ඉස්ගෙඩියන් එළියට පැමිණේ. දින කිහිපයකින් බොහෝ දිය රැදුණු වලවල් සිඳී යද්දී, මේ ඉස්ගෙඩියන් අල්ලා ගැනීමට කොකුන්, පිළිහුඩුවන් වැනි කුරුල්ලන් කුරුමානම් අල්ලන්නට පටන් ගනී. වතුර වලවල් කිහිපයක් ඉතිරි වන අතර, මේවායෙන් ගෙම්බන්ගේ ඉදිරි පරම්පරාව බිහි වේ.

වැස්සේ පියඹා එන මේරු

වේයන් කොළනියක් පරිණත වෙද්දී, එහි වේයන් ට පියාපත් එන අතර වාතයේ ආර්ද්‍රතාවයට සංවේදී වෙන මේ තටු සහිත වේයන් බොහෝ විට වැස්සකට පසු පොළොවෙන් මතුවේ. මොවුන්ට දිගු දුරක් පියඹා යෑමට නොහැකි අතර, මුල් කොළණිහි සිට මීටර 100 ක් පමණ දුරකට පමණක් පැතිරිය හැකිය. තටු ගැලවුණු පසු තව තැනක දී නව කොලණියක් බිහි කිරීමට මේ වේයන් උත්සාහ කරත්, බොහෝ දෙන විලෝපිකයන් ගේ ලෙහෙසි ආහාරයක් බවට පත්වන නිසා එම කාර්යය කිරීමට ඉතිරි වනුයේ කිහිප දෙනෙකු පමණි.

වැස්සකට පසු පිපෙන වැළි හතු

මීට දශක ගණනාවකට පෙර අපේ ගෙවතු ප්‍රමාණයෙන් විශාල විය. තද වැස්සකට පසු දින උදයේ ගෙවත්තේ පහල, දිරා යන ගස් කදන් වල සහ බිම වැස්සකට පසු කුඩා බිම් මල් රාශිකයක් ඉස්මතු වී තිබෙනු ඔබගේ අම්මලා තාත්තලාට නම් තවමත් මතක ඇති. සමහර බිම්මල් ආහාරයට නොසුදුසු වුවත්, 'වැලි හතු' නමින් හඳුන්වන මේ කුඩා බිම්මල් නම් එදා ඉතා රසවත් ආහාරයක් විය. මේ ආහාරයට ගත හැකි වැලි හතු මෙන් ම, වැසි කාලයේ දී වෙනදාට වඩා ඔබගේ ගෙවත්තේ ද බිම් මල් පොළොවෙන් ඉහලට විත් තිබීමට ඉඩ තිබේ. තෙත රැදෙන ස්ථාන වල විශේෂයෙන් ම මෙවැනි බිම් මල් දැක ගත හැකි වේ.

වැස්සේදී එළි බසින ගෝනුස්සෝ සහ පත්තෑයෝ

පොළොවේ ඇති ගුල් වල සැඟවී සිටින බොහෝ සතුන් වැස්සත් සමග තම වාසස්ථාන ජලයෙන් යට වන නිසා වැසි දිනවල දී අවතැන් වේ. එසේ තම සැඟවුණු ස්ථාන වලින් එළි බහින ගෝනුස්සන් සහ පත්තෑයන් ගෙන් වැසි දිනවලදී විශේෂයෙන් ප්‍රවේසම් වීමට අපට සිදු වේ.

මීලග වැස්ස දිනයේ දී සහ වැස්සකට පසු, ඔබත් ගෙවත්ත නිරීක්ෂණය කර බලන්න; සමහර විට වෙන දිනයකට වඩා විශේෂිත මෙවන් දේ ඔබට දැකගත හැකි වනු ඇත. 


Sunday, September 26, 2021

ගෙවත්තේ ආදරවන්තයෝ - අළු කොබෙයියා (Spotted Dove)

This is the 3rd article of the series 'Biodiversity of Homegardens' published on 28.06.2021 on Vidusara. The article features Spotted Dove which is a common bird in the home gardens with an introduction to the upcoming topics through the series. 

සති කීපයක ට පෙර පළවූ ලෙසම ගෙවත්තේ හා ඒ අවට දැකගත හැකි ජිවීන් ගේ විවිධත්වය අපි හිතනවාට වඩා ඉතාමත් ඉහළයි. කුරුල්ලන්, සමනළුන්, බත් කුරන්, ලේනුන්, උරගයින්, උභය ජිවීන්, කුහුබුවන් මෙන් ම ඇසට නොපෙනෙන පාංශු ජිවීන් විශාල ප්‍රමාණයක් සාමාන්‍ය ගෙවත්ත ක දී හමුවේ. ස්වභාවික වැඩෙන ශාක මෙන්ම බොහෝ කලකට ඉහත දී මෙරටට හදුන්වා දුන්, දැන් අපේම වී ඇති ශාක බොහොමයක් ද අපේ ගෙවත්තේ දැකගත හැකියි. 

එහෙත් අප අවට ම ගැවසෙන මේ ජිවීන් පිළිබද බොහෝවිට අපේ අවධානයක් යොමු නොවේ. වෙනත් වැඩකටයුතු වලට මුලිකත්වය දී ඉතිරි වන කාලය ත් අප අවට පරිසරය ත් සමග මුහු වනවා වෙනුවට රූපවාහිනිය, පරිගණකය හෝ දුරකථනය වැනි මෙවලමක් ඉදිරියේ ඇලී ගැලී සිටීමට අපි අද ඇබ්බැහි වෙලා. 

මීට එක් හේතුවක් වනුයේ අපි හැමදා ම දකින ජිවීන් ගේ අපුර්වත්වය නොදැන සිටීමයි. ‘ගෙවත්තේ ජෛව විවිධත්වය’ ලිපි පෙළ සෑම සතියක දී ම ඔබ වෙත ගෙන එන්නේ, ඔබේ ගෙවත්තේ සහ අවට දැකගත හැකි ජීවියකු ගේ රසවත් තොරතුරු, විද්‍යාත්මක පසුබිමත් සහිතව ඉදිරිපත් කිරීම අරමුණු කරගනිමිනි. 

මෙම ලිපි පෙළ කපා වෙනමම පොතක අලවා ගන්නා ලෙසත් අපි ඔබට යෝජනා කරන්නෙමු. කොපි පොතක් හෝ පරණ දිනපොතක් දෙකට බෙදා පළමු කොටස මෙම ලිපි පෙළ ඇලවිමටත්, ඉතිරි කොටස ඔබගේ ගෙවත්තේ දකින ජිවීන් ගේ ලැයිස්තුව ක් සැදීමට මෙන්ම විශේෂ නිරීක්ෂණයන් සටහන් කිරීමටත් ප්‍රයෝජනයට ගැනීමට පුළුවන. 

සතියේ ජීවියා ගේ රූපය වෙනම ම කපා, අලවා ගැනීමට හැකි ලෙස අගල් 2 X 2 කොටුවක් ලෙස ඉදිරිපත් කරන්නේ, මුළු ලිපියම නොවුනත් එම කුඩා රූපය පොතක් ලෙස සකසා ගැනීමට හැකි වන ලෙසිනි. එවිට ඔබ මීට කළින් නොදුටු ජීවියකු ගෙවත්තේ දී දුටුවහොත්, එම ජීවියා හදුනා ගැනීමට පසු කාලයක දී එම කුඩා පොත ගෙවත්තේ සුලබ ජිවින් හදුනා ගැනීමේ අත් පොතක් (guide book) ලෙස භාවිතා කිරීමට හැකිවනු ඇත. 

ඔබගේ ගෙවත්ත ජීවයෙන් පුරවාලන අලංකාර කුරුල්ලන් හදුනාගන්නා ආකාරයත්, ඔවුන් පිළිබද රසවත් තොරතුරුත් ‘ගෙවත්තේ ජෛව විවිධත්වය’ තුළින් මුලින් ම ඔබට ගෙන එන්නෙමු. ඔබගේ ගෙවත්තේ දී විශේෂ නිරීක්ෂණයක් කලොත් හෝ ඔබ නොදන්නා කුරුල්ලෙකු හදුනා ගැනීමට උදව් අවශ්‍ය නම් gardenbirdwatch.srilanka@gmail.com විද්‍යුත් තැපෑල මගින් අප සමග සම්බන්ධ විය හැකිය. ජායාරූපයක් එවීමට හැකි වෙතොත් මෙම හදුනා ගැනීම පහසු වේ. 

(ජෛව විවිධත්වය නිරීක්ෂණය කරනවාට අමතරව, ඩෙංගු වසංගතයක් වූ මේ කාලයේ මදුරුවන් බෝ වන තැන් ඔබගේ ගෙවත්තේ තිබේ දැයි සොයා ගැනීමටත් ගෙවත්ත ගැන අවධානයෙන් සිටීමෙන් සොයා ගත හැකිය. ඒ නිසා කොහොමටත් ඔබෙගේ ගෙවත්ත පිළිබද අවධානය යොමු කිරීමට මේ කාලයයි - හැබැයි එළියේ කාලය ගත කරද්දී මදුරුවන් ගෙන් ප්‍රවේසම් වෙන්න) 


හින්දි චිත්‍රපටවල මෙන්ම ඒවා කොපි කර හැදූ සිංහල චිට්‍රපටවලත් ගීයක් ගයමින් තම පෙම්වතිය වටා නටන ආදරවන්තයන් ඔබත් දැක ඇතිවාට සැක නැත. සින්දු කියමින් පෙම්වතියට සමීප වන දසුන් මෙන් ම, ඈත සිට එක පිම්මේ ඇය වෙත දිව එන දසුන් ද මේ ගීත වල නිතර දකින්නට ලැබේ. මේ හා සමාන දසුනක් ඔබගේ ගෙවත්තේ සජීවීව ම ඉද හිට බලා ගත හැකි බව ඔබ දැන සිටියේ ද..? අපේ ගෙවත්තේ රගන මේ දර්ශන වල නළුවන් අළු කොබෙයියන් ය. 

සුවැදි සමයේ දි (breeding season) ඉහල අහසට පියඹන පිරිමි අලු කොබෙයියා, එක්වර පහත ට පාවී එන්නේ පියාපත් විදහාගෙනය. ගැහැනු අලු කොබෙයියා වටා ඔලුව නවා ගෙන බෙල්ලේ පිහාටු පුප්පා ගෙන නාද කරමින් අනග රැගුමක් නටන අයුරු ද ශබ්ද නගමින් සෙමි සෙමින් තම පෙම්වතිය වෙත ලගා වෙන අයුරුත් අළු කොබෙයියන් යුවල දෙස අවධානයෙන් බලා සිටිය හොත් දැක ගත් හැකි වනු ඇත. සාමාන්‍යයෙන් යුවලක් ලෙස ගැවසෙන අළු කොබෙයියා චිත්‍රපට වල රගන නළු නිළියන් විසින් කරනා රැවටීමක් මෙන් නොව, නියම ආදරවන්තයන් ලෙස එකිනෙකාට ලැදියාවෙන් දිවිය පුරාම එක්ව සිටින බව පැවසේ. 

‘ලොවෙන් එකෙක් එක දෙයකට වේ සමත’ යැයි කියමන අලුකොබෙයියන් ට අදාළ වෙන්නේ, ප්‍රේමාන්විත රන්ගනය ට දක්ශ කුරුල්ලෙකු වුවත් අලු කොබෙයියා කැදැලි තැනීමට අදක්ශයෙකි වීම නිසාය. කෝටු කීපයක් අපිලිවෙලට තබා අටවා ගන්නා කැදැල්ලෙන් බිත්තර මෙන් ම කුඩා පැටවුන් ද එලියට වැටුනු අවස්තා බොහෝ විට වාර්තා  වේ. ගසක අතු අතර මෙන්ම ඉදහිට ගෙදර ක ආවරණය වූ ස්ථානවල ද අළු කොබෙයියා කැදලි තනයි. පෙබරවාරි - ජුනි සහ අගෝස්තු-සැප්තැම්බර මාස වලදී බොහෝ විට කැදලි තනන නමුන්, අලුකොබෙයියා ගේ සුවැදී සමය අවුරුද්ද මුළුල්ලේම පහේ පැතිර තිබේ. අටවා ගත් කැදැල්ලේ සුදු පැහැ බිත්තර 2ක් සාමාන්‍යයෙන් දමයි. බිහිවන පැටවුන් පුළුන් ගොඩක් සේ අතු මත ලැගුම් ගෙන සිටින අයුරු දැක ගත හැකි නමුත්, ඔවුන් අල්ලා බැලීමට උත්සාහ නොකළ යුතුය.  

ඉන්ග්‍රීසි යෙන් Spotted Dove ලෙස ද විද්‍යාත්මකව Spilopelia chinensis ලෙසද හැදින්වෙන අලු කොබෙයියා, Columbidae නම් පරෙවියන් අයත් වන කුලයට අයත්ය. ගෙල,පිටුපස දාම් ලෑල්ලක මෙන් සුදු/කලු කොටු සිටින සේ පිහටු සැකසී තිබේ. වියළි කලාපයේදී නිල්වන් අළු පැහැයේ සිට තෙත් කලාපයේදී අළුවන් දුඹුරු පැහැය දක්වා ගතේ වෙනස්කම් පෙන්වන බව ‘සිරිලක් කුරුල්ලෝ’ කුරුළු අත්පොත පෙන්වා දෙයි. 
 
අලු කොබෙයියා ධාන්‍ය වර්ග අහුලා කෑමට ප්‍රිය කරන අතර මෙම ආහාර පුරුද්ද නිසා බොහෝ විට බිම කාලය ගත කරයි. ආහාර බහුල තැන් වල කුඩා කණ්ඩායම් ලෙස ද දක්නට ලැබේ. ගෙවතු වල තබන කුරුළු ආහාර මේසයේ ඇති බත් වැනි ආහාර ගැනීම ද සමහර විට සිදු කරයි. 

ලංකාව පුරාම පැතිරීමක් පෙන්වන මේ පක්ෂියා ගේ නිජභූමිය ලෙස ඉන්දියානු උප මහද්වීපය හා ගිනිකොණදිග ආසියාවේ රටවල් සැළකේ. කෙසේ වෙතත් තම නිජභූමියට අමතරව වෙනත් රටවලට ද අළු කොබෙය්යා පැතිර ඇත්තේ සුරතල් සතුන් ලෙස ඒ රට වලට ගිය අළු කොබෙයියන් නිදහස් වීමෙන් පසු එම රටවල පරිසරයට අනුගත වීමට ඇති හැකියාව නිසාය. මෙවන් අලුකොබෙයි ගහණයන් ඇමරිකාවේ හවායි / කැලිෆෝර්නියා, මුරුසිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය වැනි රටවලදී හමුවන බව සටහන් වේ. 
Video captured by Thewan Dissanayake at Backyard Hobbyist 

1860 දී ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ප්‍රදේශයේදී හදුන්වාදුන් අළු කොබෙයියා, මේ වනවිට එහි දේශීය කොබෙයියන් ටත් වඩා පැතිරීමක් දැන් පෙන්වන බව ඔස්ට්‍රේලියානු කුරුළු සංරක්ෂණ සංගමය පවසයි. ඇමෙරිකානු කුරුළු සංරක්ෂණ සංගමය පවසන්නේ 1917 දී කැලිෆෝර්නියා ප්‍රදේශයේදී මුදා හැරී අළු කොබෙයියා දැන් තවත් ප්‍රදේශවලට පැතිර ඇති බවයි. අළු කොබෙයියා නව සිලන්තයට හදුන්වා දී ඇත්තේ 1920 දීය. 

තවමත් හොද ගහණයක් පෙන්වන අළු කොබෙයියා දක්වෙනෙනේ තර්ජනයට ලක් නොවුණු කුරුල්ලෙකු ලෙසයි. එහෙත් අපි නොදැනුවත්වම හැමදාම දකින්නට හැකි කුරුල්ලෙකුත් වද වී යාමට ඉඩ තිබේ. මීට හොදම නිදසුන ඇමෙරිකාවේ කලකට ඉහත ඉතාමත් බහුවල සිටි passenger pigeon නම් පරෙවි විශේෂයයි. ඉතා විශාල රංචු ලෙස සිටි මෙම පරෙවියා 1914 දී මෙලොවින් වදවී ගියේ, අද සුලබව සිටින සතුන් ගැන පවා අවධානයෙන් සිටීමේ වැදගත් කම ඉස්මතු කරමිනි. 

වනාන්තරවලත් සුලබව අසන්න ට ලැබෙන අලු කොබෙයියා ගේ හඩ, ස්වභාවික සිරියාව අපේ ම ගෙවත්තට ම රැගෙන එයි. අළු කොබෙයියන් ඔබේ ගෙවත්ත ටත් පැමිණේදැයි අදම සොයා බලන්න. 
ඉදිරි සතිවල දී නීල බට ගොයා (Green Imperial Pigeon), ගෘහාශ්‍රිත පරෙවියා (Feral Pigeon) පිලිබදව කියවමු. ඔබේ ගෙවත්තේ හා අවට මේ කුරුල්ලන් දක්නට සිටිනම්, gardenbirdwatch.srilanka@gmail.com හරහා ඔබගේ නිරීක්ෂණයන් අප වෙත ලියා එවන්න.  

සොබා දහම සමග මුසු වීම සහ ගෙවත්තේ ජෛව විවිධත්වය

This is the article published on Vidusara on 31st of May in the year 2017 as the article targeting World Environment Day of that year celebrated under the theme 'Connect with Nature'. This has set the stage for the article series of 'Biodiversity of the home garden'. 

ජුනි 5 වෙනි දා යෙදෙන ජගත් පරිසර දිනයේ මෙම වසරේ තේමාව “සොබා දහම සමග මුහු වීම” (Connect with nature) යන්නයි. විවිධ කටයුතු නිසා කාර්ය බහුල වන අප ට බොහෝ විට සොබා දහමේ අලංකාර බව විදීම ට හෝ එහි වැදගත් කම  අවබෝධ කර ගැනීමට කාලයක් නොමැති වේ. පරිසර විනාශය හා පරිසරය වෙතින් දුරස් වූ මිනිස් ක්‍රියාකාරී කම් නිසා තවත් තීව්‍ර වුන සොබාවික විනාශයකින් රටේ බොහෝ ප්‍රදේශ බැට කද්දී යෙදෙන මෙවර පරිසය දිනය, සොබා දහමෙන් දුරස් වීමේ ආදීනව පැහැදිලි කර අවබෝධ කර ගැනීමට අපට ලැබෙන හොද අවස්ථාවකි.   

තම කටයුතු වලින් මොහොතක් මිදී සොබා දහම හා මුසු විඉමේ වැදගත් කම ඉස්මතු කිරීම මෙම වසරේ පරිසර දින තේමාවේ මුලික අරමුනයි. දිනපතා කටයුතු වලින් මදක් මිදී, ජාතික උද්‍යානයක සතුන් නැරබීම වැනි ක්‍රියාකාරී කමක නියැලීම උනන්දු කිරිඉමට ම මෙවර ජගත් පරිසර දිනයේ ප්‍රධාන උත්සවය පැවැත්වෙන කැනඩාව. ක්‍රියා කරයි. අනෙකුත් රටවල ද විවිධ ආකාරයෙන් ජගත් පරිසය දිනය සමරන අතර, ලංකාවේ පරිසර අමාත්‍යාංශය ත් මේ සදහා සුදානම් විය. 

කෙසේ වෙතත් සොබා දහම විදීමට නම් සිංහරාජය වැනි වනාන්තරය කට, හෝටන් තැන්න වැනි පරිසරයේ අපුර්ව නිර්මාණ සහිත ප්‍රදේශයක ට යා යුතු යැයි බොහෝ දෙනක් සිතන්නේ සොබා දහම සමග මුසු වීමේ හොදම ස්ථානය තම ගෙවත්ත බව අමතක කරමිනි. අලියා, දිවියා, මුවා වැනි දුර්ලබ හෝ ආකර්ශණීය ජීවින් ස්වබාවික පරිසරයේ දී ම නාරබීම ඉතාමත් සොදුරැ දසුනක් බව සැබෑ නමුත්, එවන් චාරිකාවක ට අවස්ථාවක් ලැබෙනුයේ වසරක ට දින කීපයක් පමණි. 

එහෙත් සැමදාම ඔබගේ ගෙවත්තේ පිපෙන මල් වල සුවද, හිමිදිරියේ ම ගෙවත්තේ උස ස්ථානයක් සිට ගයන පොල්කිච්චා ගේ කන් කළු ගීතය, ක්‍රියාකාරී ව එහෙ මෙහෙ දුවන ලේනුන්, එකා පසු පස අනෙක ලෙස පේළියකට ඇදෙන කුහුඹුවන්, සුළගේ සෙමෙන් පියාබන සමනළයින් අපුර්ව ලෙස සොබා දහමේ චමත්කාර ජනක බව අපගේ එළිපත්ත මත ට ම දිනපතා ම ගෙන එයි. එහෙත් කණගාටුව ට කරුණක් නම් බොහෝ විට අපට මෙහි අපූර්වත්වය විදීමට කාලයක් නොමැතී වීම යි. 

අපේ ගෙවත්තේ දක්නට ලැබෙනා ජීවින් හදුනා ගැනීමට ත්, ඔවුන් ගේ විශේෂ තා දන්නේ නම් ඔවුන් අධ්‍යයනය වඩාත් ආකර්ශණීය වනු ඇත. අපගේ ගෙවත්ත ආශ්‍රිත ව දක්නට ලැබෙනා සතුන් අතරින් ආකර්ශණීය ත ම ජීවින් කොටසක් වන කුරුල්ලන් පිළිබදව මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්නෙමු. 

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ගෙවත්ත ක අඩුම තරමේ කුරුළු රටා සමයන් (species) 20ක් වත් දැකගත් හැකි වේ. සාමාන්‍ය ශ්‍රී ලාංකිකයකු ට කුරුල්ලන් 10ක් වත් නමින් හැදින්විය හැකිය. ගිරවා, දෙමලිච්චා, පොල්කිච්චා, මයිනා, කහ කුරුල්ලා, කපුටා, බට්ටිච්චා, පැණි කුරුල්ලා, කොහා, පිළිහුඩුවා මෙය ට උදාහරණ වේ. මේ සමග පලකෙරෙන ජයාරූප ඇසුරෙන් ඔබ ගේ ගෙවත්තේ දැකගත් හැකි කුරුල්ලන් නමින් හදින ගැනීමට උත්සාහ කරන්න. 

ගෙවත්තේ කුරුල්ලන් අධ්‍යයනය හැබවින් ම ඉතා මත් ආකර්ශනීය විනෝදාංශය කි. එහෙත් මෙම පොදු කුරුල්ලන් ගේ ගහණය අඩු වෙමින් පවතී. ආවේනික, දුර්ලබ පක්ෂීන් මෙන් ම පොදු කුරුල්ලන් ගේ ගහනය පිළිබ ද ව නිතර විමසිල්ලෙන් සිටිය යුතු බව, කුරුල්ලන් පිළිබද විද්වතකු වූ මහචාර්ය සරත් කොටගම මෑතක දී පැවසිය. සැබවින්ම ඔබට ම ඔබේ ගෙවත්ත ට එන කුරුල්ලන් පිළිබද ව පර්යේශණ ක ද කල හැකිය. ඔබේ ගෙවත්තට ගොසින් කුරුල්ලන් නරබා කුරුල්ලන් වර්ග කියක් නිරීක්ෂණය කලේ ද..? එම එක කුරුළු වර්ගයකින් කී ගෙන් දුටුවේ ද, යන්න නිරීක්ෂණ ය සිදුකල වෙලාව ත් සමග සටහන් කරගන්න. 

Saturday, September 25, 2021

සිව් වසක් සපුරණ ගෙවත්තේ ජෛව විවිධත්වය' ලිපි මාලාව


ගෙවත්තේ ජෛව විවිධත්වය ලිපි මාලාව ආරම්භ කිරීමට අඩිතාලම දැමුනේ 'සොබාදහම සමග සම්බන්ධ වෙමු' (connecting people to nature) තේමාව යටතේ සැමරූ 2017 ලෝක පරිසර දිනයට සමගාමිව විදුසර පුවත් පතේ පළවූ ලිපියකිනි. කාර්යබහුලත්වය නිසා සමහර කාලවලදී ලිපි පළකිරීමට නොහැකි වුවත්, මේ වන විට ගෙවත්තේ ජෛව විවධත්වය ලිපි මාලාව සිව් වසක් සපුරයි. මෙම ලිපි මාලාවේ මුලිකම අරමුණ වුයේ අපගේ 'සොබාදහම සමග සම්බන්ධ වීමට අපට ඇති පළමු අවස්ථාව අපගේ ගෙවත්ත බව ඉස්මතු කිරීමයි. හොදින් නිරීක්ෂණය කළහොත්, කොතරම් කුඩා වුවත් අපගේ ගෙවතු හා ඒ අවට තවමත් විවිධාකාරයේ ජීවින් සිටින බවත් ඒ අතරින් කුරුල්ලන්, සමනලුන් වැනි සතුන් සැබැවින්ම පරිසරයේ අලන්කාරත්වයත් අපුර්වත්වයත් අපගේ ගේ එළිපත්තටම ගෙන එන බවත් පසක් කිරීම මෙහි අරමුණ විය.

රුපවාහිණීයේ නාටක, චිත්‍රපට, කාර්ටුන් වැනි වැඩසටහන් වලට ඇබ්බැහි වී ගත කරන කාලයෙන් බිදක් තම ගෙවත්ත ට පිවිස පරිසරය සමග ගැවසීමෙන් පරිසරයේ අපුර්වත්වය තම ගෙවත්තෙන් පවා විදගත හැකිය. කුඩා දරුවන්ට පවා තම ගෙවත්ත පරිසරය පිළිබද පළමු අත්පොත ලෙස ගත හැකි බව පසක් කිරීම මෙහි මූලිකම අරමුණක් විය. කොරෝනාව නැතහොත් COVID-19 නිසා සංචරණ සිමා වලට යටත් ව නිවසේ ම සිරවී, සිටින කාලයේදී අපගේ ගෙවත්ත පරිසරය සමග මුහු විමට කවුළුවක් වනු නිසැකයි. 

Sunday, December 29, 2019

ගංවතුරේ ගෙවත්තට ආ අමුත්තෝ Visitors came to home garden with floods

ලෝක පරිසර දිනය ට සම්පාධනය කළ මූලික ලිපියෙන් පසු, මේ විදුසර පුවත් පතේ 2017 දී ඇරඹු 'ගෙවත්තේ ජෛව විවිධත්වය' ලිපි මාලාවේ පළමු වන ලිපියයි. After the World Environment Day article that acts as the introduction, this is the first article of the 'Biodiversity of Home Gardens' newspaper article series published on 14.06.2017 in Vidusara Science Weekly. 

පසුගිය සතියේ ගංගා කීපයක්ම පිටාර යෑමෙන් ඇතිවූ ගංවතුර ඉමහත් ව්‍යසනයක්‌ ඇති කළේ බොහෝ ප්‍රදේශ වතුරෙන් යට කරමිනි. නිල්වලා ගඟ උතුරා ආ වතුරෙන් යට වූ ප්‍රදේශයක දින කීපයක් ම කොටු වී සිටිද්දී ලද අත්දැකිම් ඇසුරෙන් මේ ලිපිය සකසන ලදී. විදුසර 2017 ජුනි 14 වැනි දා පළවූ ගෙවත්තේ ජෛව විවිධත්වය ලිපි මාලාවේ පළමු ලිපියයි මේ.  


ලෝක පරිසර දින කලාපයේ  දී අප පෙන්වා දුන් පරිදි, ගෙවත්තේ ජෛව විවිධත්වය අප හිතනවා ට ත් වඩා අපූර්ව ය. ගංවතුරක් යනු සාමාන්‍යයෙන් අපගේ ගෙවත්තේ දක්නට ලැබෙන පරිසර පද්ධතිය උඩු යටිකුරු කරන ව්‍යසනයක් වුවත්, ගංවතුර යනු වෙනදා දක්නට නොලැබෙන ජිවීන් අපගේ ගෙවත්තේ ම දැකගැනීමට ලැබෙනා අවස්ථාවකි.  

වැස්ස මෙදා තරම් දරුණු නොවූ අප කුඩා කාලයේ දී (1980 ගණන් වල මුල නිල්වලා ගගේ ගංවතුර පාලන බැම්ම බැදීමට ප්‍රථම)  සාමාන්‍ය සැර වැස්සකට නිල්වලා ව උතුරා ගගට කිලෝමිටරයක් පමණ දුරින් වූ අපේ ගෙවත්ත වතුරෙන් යට වීම සාමාන්‍ය දෙයක් විය. මේ කාලය කුඩා දරුවන් වූ අපට නම් විශේෂයන් ම විනෝද ජනක වුයේ නොයෙක් ජල ක්‍රීඩා වල ට අමතරව ජාල පහරත් සමග ගෙවත්ත ට පිහිනා ගෙන් එන ලුල් පැටවුන්, හදයන්, කාවයි පැටවුන් ඇතුළු නම නොදන්නා නොයෙකුන් මාළුන් නිසාය.

වතුරේ ගසා ගෙන එන වෙනත් සතුන් ද ඉඳ හිට දැකගන්නට ලැබේ. මිට අමතරව ඉඳ හිට වතුරේ පිහිනා ගෙන එන ඉබ්බන් ද අපට අපුරු අත්දැකීමක් විය.
ගංවතුර බැසයන්නට පටන් ගනිත්ම කුඩා දිය කඩිතී වල හිරවී සිටින මාළුන් ගොදුරු කර ගැනීම ට අවස්ථාවාදී කොකුන් පැමිණේ. සිල් ගත්තා සේ මාළුන් ගොදුරු කර ගැනීමට බලා සිටිනා විවිධ ප්‍රමාණයේ කොකුන් අපගේ ගෙවත්ත ට ම පැමිණෙන්නේ මෙවන් ගංවතුර සමයකදී ම පමණි.

මෙම වැසි දිනවල රාත්‍රිය සැමවිටම රජකරන්නේ ගෙම්බන්ය. උනුන් පරයා හඬ නැගීමට උත්සාහ ගන්න සිය ගණනක් ගෙම්බන්ගේ නාදයෙන් විචිත්‍ර වූ සීතල රාත්‍රීන් කීපයකින් පසු, එකතු වූ දිය කඩිති වල සෙවල වැනි ගෙඹි බිත්තර දහස් ගණනක් පාවෙන්නට පටන් ගනී. දින කීපයක ට පසු කළුපැහැති ඉස්ගෙඩියන් ගෙන් මෙම දිය කඩිති පිරි යයි. එහෙත් එතරම් වතුර රැදී නැති දිය වලවල් ඉක්මනින් ම සිදී යන්නේ මෙම ඉස්ගෙඩියන් ඉරණම කළින් ම තීන්දු කරමිනි.

අපගේ ගෙවත්තේ සිදියන දිය කඩිති වල හිර වුනු මෙවන් ඉස්ගෙඩියන් මෙන්ම මාළුන් ද අල්ලා වෙනත් විශාල දිය කඩිති හෝ ඇළ මාර්ගයක ට මුදා හැරීම, කුඩා කල අපගේ ප්‍රියතම විනොදාන්ශයක් විය.

දශක කීපයක ට පෙර ගංවතුරකට යට වූ ගෙවත්ත ක මෙසේ වවත්, අද වන විට බොහෝ දේ වෙනස් වී ඇත. අප හමොගෙම ගෙවතු කුඩා වෙලා, වෙන දා අප නිවෙස් ආසන්නයෙන් ම ගලාගෙන ගිය දොළ පාරවල් හිදිලා ගිහිල්ලා. තියෙන අගල් නුත් හොදට ම දුෂණය වෙලා ඒවායේ ජෛව විවිධත්වය හොඳටම පහළට වැටිලා.

ඒ උනාට මෙදා පාර ගංවතුර ත් එක්ක හිතා ගන්න බැරි අමුත්තෝ කීප දෙනෙක් ම ගෙවත්තේ කොනක වතුර රැදුණු ස්ථානයක ඉඳල හම්බ උනා. ඇත්තට ම ඒක අහම්බයෙන් උන දෙයක්. අඩි 3ක් පමණ උසට ගෙවත්තේ රැදුන ගංවතුර සෙමෙන් බැසයාමත් සමග මා නිරීක්ෂණය කළේ ගෙවත්තේ පහත් කොනක රැදී තිබූ වතුරේ ගප්පි මත්ස්‍යයන් රාශියක් පිහිනන බවය. තව පැය කීපයකින් එම වතුර කඩිත්තද සිදී යන නිසා වතුර පිරවූ බාල්දියක් රැගෙන, කුස්සියේ තිබූ පරණ පෙරණයක් ද රැගෙන එම මාළුන් අල්ලා අසලින් ගලා යන ඇළට දැමීම ට සුදානම් ව දිය කඩිත්ත ට පහත් වෙද්දී දුටුවේ තරමක් විශාල මාළුවකු ද එම දිය කඩිත්තේ හිර වී සිටින බවයි. 
කුඩා මාළුන් බේරා ගත් පසු තරමක අනිත් මාළුවා අල්ලා ගැනීමට උත්සාහ කලත්, ඌ නම් සැබෑ අමාරුකාරයෙක් විය. කෙසේ හෝ අමාරුවෙන් බෝතලයක ට දමා ජායාරුප කීපයක් ද ගත්තේ පසුව හොදින් හදින ගැනීම පිණිසය. මෙම ජායාරූප නිරීක්ෂණය කළ මාළුන් පිළිබද පර්යේෂකයන් පැවසුයේ, ඒ රත් පැහැයට හුරු ලුලෙකු ගේ පැටවකු බවයි. මාළුවා අසුලින් ගලා ගිය ඇලට මුදා හැර, නිකමට මෙන් දැන් වතුර හොදට ම හිදී ගිය මඩ කඩිත්ත දෙස නික්ම ට මෙන් දෑස් යොමද්දී දුටුවේ, තවත් මාලුවෙකු එහි දගලන බවයි. එම මාළුවා ගේ දිගු රැවුල් ගස් මෙන් වූ සංවේදක තිබූ අතර ඒ අගුලුවකු (catfish) ලෙස පසුව අනුමානය කෙරිණි.

තවත් සැගවුණු මාළුන් සිටීදැයි බැලිමට මඩ කඩිත්ත වෙත ගිය මා, එහි වතුර සිදිගිය ස්ථානයක තිබූ විශාල කොලයක් නිකමට මෙන් අයින් කරද්දී, එහි තවත් තරමක් විශාල මාළුවෙකු එතරම් හැලහොල්මනක් නැතිව මඩ අස්සේ සිටින බවය. ආනිත් මාළුන්ට වඩා විශාල වූ එම මාළුවා මඩකනයෙකු ලෙස අනුමානය කෙරිණි. තව දුරටත් සොයදිදී මඩ අතුලේට ම රිම්ගා ගත් මඩ කනයෙකු හමුවිය.

මෙම මාළුන් නිදහස් කිරීමට ප්‍රථම විනිවිද පෙනෙන බෝතලයක දමා කුඩා දියණියටත් නිවසේ අනිකුත් සාමාජිකයන් ටත් පෙන්වුයේ අපේ ගෙවත්ත ට ම ආ අමුත්තන් ගේ ජෛව විවිධත්වය පෙන්වීමට ය.

තම ගෙවත්තට ම ගංවතුර අවේ නම්, එහි ජෛව විවිදත්වය සෙවීමට තරම් ඉස්පාසුවක් ඔබට නොලැබෙන්නට පිලීවණ. එහෙත් ඉඩක් ලදොත්, හැමවිටම අවධානයෙන් පසුවුවහොත්, වෙනදා ගෙවත්තේ දක්නට නොලැබෙන ජිවීන් ද මෙලෙස දැකගැනීමට හැකි වනු ඇත. 


ලුලා - Snake head murrel - Channa striata – Loola

අඟුළුවා - Long whiskered catfish – Anguluwa -

මඩකනයා - Spotted snakehead - Mada Kanaya - Channa punctate














Puntius vittatus - Green stripe barb

ගෙවත්තට ම ආ මාළුන් නිරීක්ෂණය කිරීම ට ලැබීම කලාතුරකින් ලැබෙන අවස්ථාවක්














නැවත ඇළ මාර්ගය ට මුදා හැරීම


වැසි දිනකදී ඔබේ ගෙවත්ත

This is an article published in Vidusara Science Weekly on 06.10.2021. The article focuses on some of the changes that can be expected to ob...